Tuesday, September 5, 2017

සරත් ෆොන්සේකාට කරුණා අම්මාන් ගෙන් කට උත්තර නැති වෙන්න පිළිතුරු.



[1]. පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට එරෙහිව එවකට විපක්ෂයෙන් එල්ල කළ චෝදනාවක් වූයේ සරත් ෆොන්සේකාව හිරේ දැමීමත් කරුණා අම්මාන්ට ඇමති කමක් දීමත් යන කාරණාවයි. මේ චෝදනාවේ ඇත්ත නැත්ත අපි විමසා බලමු.


[2]. සරත් ෆොන්සේකා එල්ල කළ චෝදනාව.

(i). මීට දින කිහිපයකට පෙරදී සරත් ෆොන්සේකා ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් පැවසූයේ ජගත් ජයසූරිය මහතා යුද පෙරමුණේ අත් අඩංගුවට ගන්නා අයට අදාලව අපරාධ කළ බවට තොරතුරු ලැබුණ බවත් ඊට අදාලව සාක්ෂි දෙන්න තමන් සූදානම් බවත් ය. එහි වීඩියෝව පහතින්.



(ii). නමුත් ඉහත සරත් ෆොන්සේකා එල්ල කරන චෝදනාව පට්ට පල් බොරුවක් බව බැලූ බැල්මටම වටහා ගැනීමට පහත තර්ක 2 ප්‍රමාණවත් ය. එනම්, 1. ජගත් ජයසූරිය මහතාට එරෙහිව එකදු හෝ අපරාධමය සාක්ෂියක් තිබේනම් සරත් ෆොන්සේකා මාධ්‍ය වෙත පැමිණ ඒවා ගැන කියනවා වෙනුවට පසුගිය අවුරුදු 2 තුළදී යුධ අධිකරණයේ නඩු පැවරීමට තිබුණි. 2. පසුගිය අවුරුදු 2 පුරාවටම ජෙනරල් ජගත් ජයසූරිය මහතා බ්‍රසීලයේ තානාපති ලෙසේ සේවය කළේය. එතුමා කිසියම් අපරාධයක් කළ බවට සරත් ෆොන්සේකා සැකයක් හෝ තිබුණානම් ඔහු ඒ ගැන ඔහුගේම නායකයින් වන ජනපති අගමැති දැනුවත් කරන අතර එවිට එම තානාපති තනතුර ඔහුට දරන්නට වන්නේ නැත.

(iii). සරත් ෆොන්සේකා මේ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් දරන ඉහලම නිලය වන ෆීල්ඩ් මාෂල් නිලය දරයි. ඊට අමතරව ඔහු කැබිනට් ඇමතිවරයෙකි. රටේ පවතින්නේ ඔහුට සහය දෙන ආණ්ඩුවකි. රටේ අගවිනිසුරුවරයාගේ සිට නීතිපතිවරයා දක්වා ඔහුට සහය දෙන ආණ්ඩුවෙන් පත් කළ නිලධාරී ය. ඔහු කියන චෝදනා ඇත්තක්නම් මාධ්‍ය වෙත පැමිණ චරිත ඝාතන සිදු නොකොට පසුගිය දෙවසර තුළ ලෙහෙසියෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තිබුණි. එසේ කළේ නැත. ඒ වෙනුවට ජගත් ජයසූරිය මහතා කිසිදු චෝදනාවක් නොමැතිව තානාපති සේවාවේ නියැලෙමින් රටට සේවය කළේය. ඒ අනුව සනාථ වන්නේ සරත් ෆොන්සේකා පවසන්නේ නීතිය ඉදිරියේ ඔප්පු කළ නොහැකි ඔහුගේම හිතලුවක් බවයි.

(iv). සරත් ෆොන්සේකා විසින් එම චෝදනාව එල්ල කරන්නේ බ්‍රසීලයේදී ජෙනරල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව කොටි සංවිධානයට සහය දෙන විදේශික ඩයස්පෝරා පිරිසක් විසින් නඩු පැවරීමෙන් අනතුරුවයි. එසේනම් සාක්ෂි නොමැති වුවද ශ්‍රී ලංකාවේ සිටින ෆීල්ඩ් මාෂල් වරයාගේ ඉහත ප්‍රකාශය පමණක් සාක්ෂියක් ලෙස අදාල නඩුවේදී ඉදිරිපත් වෙනු ඇත. ඒ අනුව සරත් ෆොන්සේකා කටයුතු කරන්නේ කා වෙනුවෙන් දැයි පැහැදිළි වෙයි.


[3]. කරුණා අම්මාන්ගෙන් සරත් ෆොන්සේකාට පිළිතුරු.

(i). සරත් ෆොන්සේකාගේ එකී දේශද්‍රෝහී ප්‍රකාශයට පිළිතුරු ලෙස කරුණා අම්මාන් 2017/09/04 දිවයින පුවත්පතෙන් පවසා ඇත්තේ මෙයයි. මූලාශ්‍රය මෙතනින්.


(ii). එසේම 2015 පෙබරවාරි  27 ලංකාදීප පුවත්පතෙන් කරුණා අම්මාන් පවසා ඇත්තේ පසුගිය යුද්ධයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව අතින් යුද අපරාධ සිදු නොවූ බවයි. මූලාශ්‍රය මෙතනින්.


මහින්ද යුගයේදී මෙන් තමන්ට නිසි දේශපාලන රැකවරණයක් නොමැතිවද කරුණා අම්මාන් පවසන ඉහත ප්‍රකාශ දෙස බැලීමේදී, ඔහු සහ සරත් ෆොන්සේකා අතර වෙනස පැහැදිළියි නේද?


[4]. සරත් ෆොන්සේකා සිය ඉහත ප්‍රකාශයට අමතරව තවත් බරපතල කටයුතු කීපයක්ම සිදු කර තිබේ. යහපාලන වෙබ් අඩවි වල මෙන් මඩ නොව, මූලාශ්‍ර වීඩියෝ සහිතවම එම ප්‍රකාශ පහතින්...

(i). ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුණත් වෙඩි තියන්න ආදී ලෙස ආරක්ෂක ලේකම්වරයා උපදෙස් දුන් බව පවසයි.



(ii). සුදු කොඩි කතාවෙන් නොනැවතී ඔහු පැවසූයේ පුදුකුඩි ඉරිප්පු හි ඉස්පිරිතාලයකට වැරදීමකින් මෝටාර් දැමූ බවයි. කොටින්ගේ එම මඩ චෝදනාව ඔප්පු කරගැනීමට කිසිදු සාක්ෂියක් නොමැතිව තිබියදී සරත් ෆොන්සේකා විසින් සිදුකළ දෙවන පාවාදීම එයයි.



(iii). ප‍්‍රභාකරන් සැමරුවාට ප‍්‍රශ්ණයක් නැතැයි පවසයි. මිය ගිය කොටි සැමරුවා කියා ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.



(iv). යුධ අපරාධ වලට හේතුව තමන් විසින් හමුදාව පාවාදීම බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පැහැදිළි කරයි. සරත් ෆොන්සේකා සිරගත වීම ගැන කණගාටු වෙන අයට පහත වීඩියෝවෙන් තම සිරගත වීම සාධාරණීකරනය කරමින් ඔහුම පිළිතුරක් ලබා දී තිබේ.



මානුෂික මෙහෙයුමේ මුල් භාගය සිදුවූයේ සරත් ෆොන්සේකා නොමැතිව යි. බෝම්බ ප්‍රහාරයකින් අසාධ්‍යව සිටි සරත් ෆොන්සේකාව සිංගප්පූරුවට යවා ප්‍රතිකාර කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙනි. එසේම මානුෂික මෙහෙයුම ආරම්භ වෙද්දී සරත් ෆොන්සේකා සිටියේ ලෙඩ ඇඳේ වන අතර කාලයක් ගත වෙන තුරු ඔහුට හරියට කතා කරගැනීමටවත් නොහැකි විය. එසේ වූයේ ඔහු යුද බිමේ දැක්වූ වීරක්‍රියාවක් නිසා නොව, තමන්ගේම ආරක්ෂක දුර්වලතාවයක් නිසා කොළඹ අධි ආරක්ෂක කලාපයේ පිහිටි තම මූලස්ථානය තුළට පැමිණි කොටි කතකගෙන් බෝම්බ කෑමෙනි. යුද බිමේ දක්ෂතා දැක්වූ සෙන්පතියන් කෙරෙහි වෛර කිරීමට එය ද හේතුවක් විය හැකිය.


[5]. මානුෂික මෙහෙයුම අතරතුරදී කරුණා අම්මාන්ට ඇමති කමක් දීම හරහා යුද උපක්‍රම ගණකාවක් සිදුවිය. ඒවායින් හෙළි කළ හැකි කරුණු කිහිපයක් පහත දැක්වේ.

(i). මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පැවසූයේ යටත් වීමට කැමති කොටි සාමාජිකයන්ට ආයුද බිම තබා යටත් විය හැකි බවය. එවකටත් කොටි සංවිධානයෙන් විරසකව සිටි කරුණා අම්මාන් ඇතුළු පිරිස සේනාධිනායකවරයාගේ දේශපාලන ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජයටට පක්ෂපාතීව එකතු වුණි. එවිට තමන් කළ දේශපාලන ප්‍රකාශය ඔප්පු කරමින් තවත් යටත් වෙන අයට දිරි ගැන්වීමක් වශයෙන් කරුණා අම්මාන්ට රජයේ ඇමති ධූරයක් ලබා දුනි.

(ii). යුද්ධයකදී තීරණාත්මක කාර්යභාරයක් Psychological warfare (PSYWAR) සිදුකරයි. එය අතිශය සංකීර්ණ විශයක් වන අතර ඒ ගැන වැඩිදුර කියවීමට මෙතනින්. යටත් වෙන සතුරන්ට වරප්‍රසාද ලබා දීම මගින් යටත් වීමට බලාපොරොත්තුවෙන් සිටින සතුරන්ව යටත් වීමට දිරි ගැන්වීමත්, ඒ හරහා සතුරන්ගේ නායකත්වයට මානසිකව පහර දීමත් මෙහිදී සිදුකරන උපක්‍රමයකි.එය Rewards for Surrendered ලෙස හැඳින්වේ. Airborne leaflet propaganda මගින් ලෝකයේ බොහෝ යුද වලදී එය සිදුකළ හැටි මෙතනින්. හුදු නිදහස හෝ මුදල් ත්‍යාග මෙන් නොව රජයේ වරප්‍රසාද සහිත කැබිනට් ඇමති ධූරයක්ම ලබා දීම හරහා කොටි සංවිධානයට සිදුකළ මානසික ආතතිත දැඩි විය. එමගින් සාර්ථක ප්‍රතිඵල අත්වූ අතර, නම් වශයෙන් හෙළි කළ නොහැකි කොටි නායකයන් ඇතුළු බොහෝ පිරිසක් කරුණා ඇමති ධූරය ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකා හමුදාවට යටත් වුණි. එමගින් කොටි සංවිධානය දුර්වල විය. එසේ නොවන්නට ශ්‍රී ලංකා හමුදාවන්ට ඒ සියල්ලම සහිත ශක්තිමත් කොටින් සමග යුද වැදීමට සිදුවෙන අතර, යුද ජයග්‍රහණය සිදු නොවීමට එය හේතු වෙනු ඇත.

(iii). කොටි සංවිධානය වෙනම රටක් ඉල්ලමින් නැගූ මූලිකම චෝදනාව වූයේ ශ්‍රී ලංකා රජය මගින් දමිළ ජනතාවට දේශපාලන නිදහසක් ලබා නොදෙන බවයි. ඔවුන් එසේ කළේ ශ්‍රී ලංකා රජයේ දමිළ අමාත්‍යවරුන් මෙන්ම දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිය දී ය. ඒ අනුව ඔවුන්ගේ චෝදනාව බොරුවක් වේ. ඒ අතර තුර කොටි සංවිධානයෙන් වෙන් වූ කරුණා අම්මාන් ට රජයේ ඇමති ධූරයක් ලැබීමත් සමග ඔවුන්ගේ චෝදනව පට්ට පල් බොරුවක් බවට පත් විය. එනම් ජාත්‍යන්තරයට ගිය මතය වූයේ කොටි ත්‍රස්තවාදියෙකුට වුවද ආයුධ බිම තැබීමෙන් රටේ දේශපාලන ප්‍රවාහයට එක් වී ඇමති ධුරයකට එක් විය හැකි තරම් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බවයි. එම හේතුව මත විදේශ රටවලින් කොටින්ට ලැබුණ බොහෝ ආධාර නැවැත්වීමට හැකි විය. එසේ නොවූවානම් ශ්‍රී ලංකා හමුදාවට යුද වැදීමට සිදුවන්නේ වඩාත් බරපතල ආයුධ තිබූ කොටි සමග යි.

(iv). ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානයේ බරපතල මොළ ශෝධනයකට ලක් වී සිටි උතුරේ දෙමළ ජනතාවට නැවතත් අනෙකුත් ශ්‍රී ලාංකිකයන් කෙරෙහි විශ්වාසය ඇති කිරීම, එනම් පුනරුත්ථාපනය වෙන කොටි සාමාජිකයන්ටත් නැවතත් සිවිල් සමාජයට එක් විය හැකි බවට පෙන්වා දීම කරුණා අම්මාන්ට ඇමති ධූරයක් පිරිනැමීම මගින් සිදු විය.

(v). ශ්‍රී ලාංකික හමුදාවට එරෙහිව ව්‍යාජ චෝදනා නගන කොටි ඩයස්පෝරාවට සහ අන්තර්ජාතික ප්‍රජාවට ප්‍රභාකරන්ගේ සමීපතමයෙක්ව සිට දැන් ශ්‍රී ලංකාව ඇමති කමක් දරන අයෙක් ලවාම පිළිතුරු දී ඔවුන්ව ජාත්‍යන්තරයේදී කට උත්තර නැති කිරීම ත් සිදුවූ තවත් උපක්‍රමය කි. කරුණා අමාන් ඇමතිවරයක් ලෙස පාර්ලිමේන්තුවේදී කළ පහත කථාවෙන් ඒ බව මනාව පැහැදිළි වෙයි.



තවත් බොහෝ හේතු කිව නොහැකි වුවද ඉහත කාරණා ටික බැලීමෙන් පමණක්, "කරුණා අම්මාන්ට ඇමති කමක් දුන්නේ ඇයි" කියල අහන අයවලුන්ට යතාර්ථය අවබෝධ වෙනු ඇතැයි සිතමු. එසේම කරුණා අම්මාන්ට එරෙහිව යහපාලන දේශපාලඥයන් ඇස් දෙකෙන් දැක්කා මෙන් පවසන ත්‍රස්තවාදී ක්‍රියා එකක් හෝ ඇත්තනම් පහුගිය අවුරුදු 2 තුළ ඔවුන් කළ යුතුව තිබුණේ අදාල කරුණු වලට කරුණා අම්මාන්ට එරෙහිව නඩු පැවරීමයි. නමුත් එසේ කළේ නැත.


අනිත් අයටත් කියවීමට Share කරන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස් ඉහත ලිපියට අදාල වන පරිදි වගකීමෙන් යුතුව සහ විනීත භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.